
ප්‍රියසාද් යන නම මෙරට මිනිසුන්ට හුරු වූයේ දිනේෂ් ප්‍රියසාද් නිසා ය. ඔහු ජනප්‍රිය වූයේ සිනමාව නිසා ය. පසුව ඔහුගේ දියණියන්ද ප්‍රියසාද් නම ඉදිරියට ගත්තෝ ය. ඒ අතර තවත් ප්‍රියසාද් කෙනෙක් ජනතාව ඉදිරියට ආ අතර ඔහුගේ භාවිතය සහ කතාබහ ලුම්පන් පාදඩයෙකුගේ බව බැල්මට කිව හැකි විය.
ඒ ඩෑන් ප්‍රියසාද් යනුවෙන් තමන් හඳුන්වාගත් පුද්ගලයා ය. ඔහුගේ සැබෑ නම සුදේෂ් ප්‍රියසාද් ය. පදිංචිය දෙමටගොඩ ය. ඔහු කියාගන්නේ තමා සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කියා ය.
වොයිස් කට් ජාතික වීරයෙකු වීමට ප්‍රථමව ඩෑන් ප්‍රියසාද් ඔහුගේ නිවස යැයි සිතිය හැකි ස්ථානයක දේවාලයක් පවත්වාගෙන යන අයුරු සහ කට්ටඬියෙකු ලෙසින් යුවතියක පීඩාවට පත් කරනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වෙබ්වල ප්‍රචාරය විය.

මෑත කාලයේ ඩෑන්ගේ සොහොයුරා මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ගැටුමකදී තියුණු ආයුදවලින් කපා මරා දැමා ඇති බව මාධ්‍ය වාර්තා කළේ ය. ඒ අනුව ඔහුගේ පාදඩ පසුබිම ගැන අදහසක් ලබා ගත හැකි ය.

විවිධ අවස්ථාවලදී සිංහලයන් වෙනුවෙන් බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් ඔහු මාධ්‍ය ඉදිරියට ආ අතර ප්‍රකාශ නිකුත් කළේ ය. දැනට වසර 10කට පමණ ඉහතදී කොළඹ කොටුවේදී මුස්ලිම් ජාතිකයන් පිරිසකට බෝම්බ ගසන බවට කළ තර්ජනයක් නිසා ඔහු දවස් 10ක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය නියෝග කළේ ය.

2019 පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරයට පෙර මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්රකෝපකාරී ප්‍රකාශයන් ඩෑන් ප්‍රියසාද්, අමිත් වීරසිංහ, නාමල් කුමාර වැනි අය විසින් සිදු කළේ සැලසුම් සහගත අයුරින් යැයි සිතිය හැකි කරුණු තිබේ. මේ අය විවිධ නම් සහිත කණ්ඩායම් ලෙසින් ක්‍රියාත්මක වූ අතර මොවුන්ගේ ප්‍රධාන එකඟතාවක් වූයේ, සිංහල ජාතිවාදය සහ සුළු ජාතීන්ට වූ ප්රචණ්ඩ විරෝධයයි. 2014 දර්ගා නගරයේ මුස්ලිම්වරුන්ට එල්ල වූ ප්‍රහාරය, 2017 දී ගිංතොට ප්‍රහාරය සහ 2018 දී මහනුවර තෙල්දෙණිය ප්‍රහාරය වශයෙන් මේ අනුසාරයෙන් මුස්ලිම් ජනයාට විරුද්ධ ප්රචණ්ඩත්වය දියත් විය. මේ සියල්ල පෙරමුණේ බෞද්ධ හිමිවරුන් ලෙස ගලගොඩ අත්තේ ඥානසාර ඇතුළු හිමිවරුන් ද ගිහියන් වන ඩෑන්ලා ඇතුළු පිරිසද වූහ. වඳ කොත්තු, වඳ කිරි, වඳ තිසරපට යුගයේ වීරයන් වූයේ මේ පිරිසයි. ඔවුන්ගේ සංවිධානවල නම් පවා ම්ලේච්ඡත්වයට කිට්ටු ඒවා විය. අමිත් වීරසිංහගේ සංවිධානයේ නම මහසෝන් බලකාය විය.
මේ සියල්ල අතරේ ඔවුන්ගේ රාජපක්ෂ හිතවාදය මොනවට ප්‍රදර්ශනය විය. මෑතම කාලයේ පවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ ඩෑන්ගේ සේයාරූ සමාජ මාධ්‍යවල පළ විය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එල්ල වන චෝදනා සහ මේ හිතෛශීවන්තකම් අතර අවැසි කෙනෙකුට ඉරි යා කරගත හැකි ය.
පසුව 2022 අරගල සමයේ මැයි 9 වැනි දා ගාලු මුවදොර පිටියේ සාමකාමී විරෝධයට කළ ප්රචණ්ඩ පහර දීමේ ප්‍රධාන සැකකරුවෙකු වූයේ ද මේ ඩෑන් ප්‍රියසාද් ය.

රටේ ජාතිවාදී ගැටුම් විශාල ප්‍රමාණයක් ඇති කිරීමේ සැලසුම්වල ඉත්තෙකු ලෙස මේ ඩෑන් නමැත්තා සිටින බව පැහැදිලිව පෙනේ. ඔවුන් විසින් කරන ලද ප්‍රකාශ, ප්‍රචාර ආදිය නිසා ජාතිවාදය ඇවිළ යාමට සෑහෙන ඉන්ධන ලැබුණද එකල දේශපාලන රැකවරණ නිසා නිදැල්ලේ හැසිරුණෝ ය.
පසුගිය දා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූයේ මේ ඩෑන් ප්‍රියසාද් ඩුබායිහිදී රිය අනතුරකින් මළ බවයි. එයද මේ පිරිසගේ සැලසුමකට අනුව සිදු කළ බොරු ප්‍රචාරයක් බව සමහරු අනුමාන කළෝ ය.
කෙසේ වෙතත්, ඩුබායි සිට මෙහි පැමිණීමේදී ඩෑන් ප්‍රියසාද් නමැත්තා අත්අඩංගුවට පත් වුණේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුව අත්අඩංගුවට නොගන්නැයි පොලිසියට කළ බලපෑමක් සම්බන්ධ චෝදනාවකටයි. මේවායෙන් පෙනී යන්නේ, මේ ලුම්පන් ඊනියා නව ජාතික වීරයන්ගේ සැබෑ කටයුතු සහ පසුබිමයි.
නලින්ද සිල්වා-ගුණදාස අමරසේකර විසින් න්‍යායාත්මකව ගොඩනගා මහින්ද රාජපක්ෂ හරහා මල් වෙඩිල්ලක් වූ සිංහල ජාති(ක)වාදය අන්තිමට නැවතුණේ පිංපොංලා-ඩෑන් ප්රියසාද්ලාගෙනි.
සැබැවින්ම කියන්නේ නම්, මේවා පර්යේෂණ සඳහා හොඳ හැටි වටිනා මාතෘකා ය.
ඩෑන් ප්‍රියසාද්ලා උපයාගෙන ඇති කීර්ති නාමය ගැන අදහසක් ලබා ගැනීමට ඒ නම ෆේස්බුක්හි සෙවුමක් කර බැලුවද ප්‍රමාණවත් ය.