සූර්ය දනවි සූර්ය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද (1) සිදු කෙරිණි.
එම ගිවිසුම සඳහා ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අත්සන් තබා තිබේ.
මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්තවන අතර එහි පළමු අදියර මගින් සාම්පූර් සිට කප්පල්තුරෙයි දක්වා කිලෝමීටර 37ක සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියක් සමගින් මෙගාවොට් 50 ක සූර්ය බලාගාරයක් ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.
දෙවන අදියරේදී තවත් මෙගාවොට් 70 ක සූර්ය ධාරිතාවක් කප්පල්තුරෙයි සිට නව හබරණ දක්වා විහිදෙන කිලෝමීටර 77 ක සම්ප්‍රේෂණ මාර්ගයක් සමගින් එක් කිරීමට නියමිතය.
ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු Trincomalee Power Company Limited (TPCL) විසින් සිදුකිරීමට සැලසුම් කර ඇත.
වත්මන් රජය මගින්, මෙමගින් විදුලි ඒකක මිල දී ගන්නා මිල ගණන් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 5.97ක මිල යටතේ ලබා දීමට එකඟත්වය පළ කර ඇති බව සඳහන් ය.