How US President Trump's decisions affect the course of the world

“ට්‍රම්පච්චී” ලෝකය කොහි ගෙන යාදෝ!

195161c0 9ccc 11ef 82c3 45a801b7330b 1

ඇමෙරිකාවට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට ශ්‍රී ලංකාවට නිව්මෝනියාව වැළඳෙන බවට වන හාස කියමනක් තිබේ. එහි යටි අරුත ලෝක බලවතා වන ඇමෙරිකාව ගන්නා තීන්දු තීරණ අප වැනි පරිධියේ රටවලට බලපාන ආකාරයයි.

දෙවැනි වතාවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව බලවතා ලෙස සැලැකෙන ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූයේ ය. ට්‍රම්ප් යනු බිස්නස්කාරයෙකි. ජෝජ් වොෂිංටන්, ඒබ්‍රහම් ලින්කන්, රූස්වෙල්ට්, අයිෂන්හවර්, කෙනඩි, රේගන්ලා අස්සේ ට්‍රම්ප් යනු ව්‍යතිරේඛයක් බව බොහෝ දෙනා කී අතර ට්‍රම්ප් සිටින්නේ ඒ බව ඔප්පු කරමිනි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ නරකම ජනපතිවරයා ලෙස ද සමහර ශ්‍රේණිගත කිරීම් පෙන්වා දෙයි.

ඇමෙරිකාව ලොව ධනේශ්වර ක්‍රමයේත් අධිරාජ්‍යවාදයේත් මහ බලවතා බව කවුරුත් දනිති. මෑත කාලයේ චීනයේ නැගීම, රුසියාව නැවත භූ දේශපාලනයේ බල කේන්ද්‍රය වෙත පිවිසීම ආදිය විසින් සෑහෙන තරම් ලෝක දේශපාලනයේ වෙනස්කම් සටහන් කළ ද ඇමෙරිකාව තවමත් තැන අල්ලගෙන සිටින බව කිව යුතු ය.

ඇමෙරිකාවේ සියලු ඍණාත්මක දේ අතර සමහරක් නිදහස්වාදී සහ ප්‍රගතිශීලී පියවරයන් නොතිබුණේ නොවේ. සමරිසි අයිතිවාසිකම් ආදිය ඒ අතරින් ඉදිරියෙන් තිබුණි.

ට්‍රම්ප්ගේ දෙවැනි වර පත්වීම අස්සේ ගන්නා ක්‍රියාමාර්ග විසින් සෑහෙන තරම් ආපසු ගමනක ලෝක බලවතා ගමන් කරන බව කිව හැකි ය.

ඇමෙරිකාව පළමුව – යන ට්‍රම්ප්ගේ සටන් පාඨය විවේචනයට ලක් වන්නේ ඒ පිටුපස ඇති ඔහුගේ ම අවශ්‍යතා (මූල්‍ය සහ ආත්මාර්ථකාමිත්වය පෙරමුණේ ඇති) එයින් විදාරණය වන බව කියමිනි.

නූතන ගෝලීයකරණ ව්‍යාපෘතියේ නව තත්වයන් යටතේ ලොව තවත් කුඩා වී ඇති බව රහසක් නොවේ. ත්‍යාගශීලීත්වය, පොදු මනුෂ්‍යත්වය වැනි කාරණා සහ පටු ජාතික අවශ්‍යතා අතර ගැටුමක් නිර්මාණය වීගෙන එන බව මහ බලවතාගේ නූතන නැටුම් දෙස බලන විට පෙනී යන්නකි. ලොව බිහිව ඇති වඩාත් වැදගත් පොදු මනුෂ්‍යත්වය වෙනුවෙන් ක්‍රියාකරන ලෝක සෞඛ්‍ය සංවිධානය වැන්නකින් ඉවත් වීම ඇමෙරිකාව කිසි කලෙක සිදු කරතැයි කිසිවකු මෙයට ඉහත උපකල්පනය කළේ ද?

අනෙක් අතට ඇමෙරිකානු ජනපතිවරයෙක් ගන්නා ප්‍රතිපත්තිමය තීන්දු බොහොමයක් ඇමෙරිකාව පළමුව පාඨයට යටතට ගත‌ නොහැකි වන්නේ ඒවා විවිධ කණ්ඩායම්වල අවශ්‍යතා සහ දෘෂ්ටිවාද අතර ගැටීම් ඇති කරන බැවිනි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලය ඇමරිකාවට පමණක් නොව ලෝකයට ම තර්ජනයක් බවයි.

ඔහුගේ පළමු ධුර කාලයේ අයිතිවාසිකම් ඛණ්ඩන වාර්තා, වාර්ගික දෘෂ්ටිවාදය වැළඳගැනීම, සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම, දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි පළිගැනීම් ආදිය එය ස්ඵුට කරන සාධක ලෙස ඔවුහු දක්වති.

2017-21 කාලයේ එකසත් ජනපද – මෙක්‌සිකෝ සීමාවේ සරණාගතයන් පවුල් වෙන් කර නෙරපා හැරීම,ජාතිවාදී ප්‍රහාර, අඩුආදායම්ලාභීන්ගේ සෞඛ්‍ය කප්පාදුව ආදිය නැවත වටයකින් ඉදිරියට එන බව ඔවුන්ගේ අදහසයි.

ලොව පුරා බොහෝ රටවල් සංක්‍රාන්ති ලිංගිකයන් කෙරෙහි සාවධාන වෙමින්, දියුණු තීරණ ගනිමින් සිටියදී ට්‍රම්ප් පාලනය ආන්දෝලනාත්මක තීරණයක් ගත්තේ ය. සංක්‍රාන්තිමය කාන්තාවන් ස්ත්‍රී ක්‍රීඩා වෙත තරඟ කිරීම තහනම් කරමින් ට්‍රම්ප් පසුගිය දා නියෝගයකට ද අත්සන් කළේ ය.

image 1

මෙය පැහැදිලිව ම ට්‍රම්ප් පාලනයේ LGBTQ විරෝධීබවේ එක් සාධකයකි.

දෙවැනි ධුර කාලය ඇරඹි පසු ට්‍රම්ප් විසින් මෙම ප්‍රජාව අරභයා මර්දන තීන්දු සතරක් ගෙන තිබේ. දිවුරුම් දී පැය කිහිපයකට පසු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ එතැන් සිට එහි පවත්නේ ස්ත්‍රී සහ පුරුෂ යන සමාජ භාවයන් දෙකක් බවයි. එසේ ම සංක්‍රාන්ති ලිංගිකයන් වෙත හමුදා සේවය ද ඔහු තහනම් කළේ ය. වයස 19 අඩු අය සඳහා ස්ත්‍රී පුරුෂභාවය වෙනුවෙන් සංක්‍රාන්ති මුදල් ආපසු ගෙවීමටද ඔහු නියෝගයක් අත්සන් කළේ ය.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAID විසුරුවා හැරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණයද ලොව පුරා රටවල බලපෑමක් ඇති කර තිබේ. ශ්‍රී ලංකාවද ඇතුළුව මේ හරහා බොහෝ ප්‍රතිලාභ ලබාගත් පරිධියේ රටවල් බොහොමයකි. ඒවා මෙරටද ඇතුළත්ව රටවල්හි යෙදවුණු ආකාරය සම්බන්ධයෙන් විවේචන ඇතද මෙම ආධාර ව්‍යාපෘති ඉටු කළ කාර්යභාරයක්ද තිබේ. ඒවා දැන් මුළුමනින්ම ලොප් වී තිබේ. ලොව පුරා 10000කට ආසන්න පිරිසකගේ රැකියාද මෙමගින් ඍජු අහිමිවීමකට ලක්ව තිබේ.

image

මිනිසුන් කුසගින්නේ සිටින රටවලට ආහාර සැපයීම, කුසගිනි රටවල් පුරෝකථනය, සාගත හඳුනාගැනීම වැනි දේවල් කළ මෙම ආයතනය වසා දැමෙන්නේ චයිනාඒඩ් එම ස්ථානය අත්පත් කරගනමින් සිටින සන්දර්භයකය. සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් 1960 දසකයේ සිට USAID කාර්යභාරය අතිවිශාල එකකි. එහෙත් ට්‍රම්ප් සහ මස්ක් වැනි අය අර්ථදක්වන්නේ බදු ගෙවන පිරිසට වටිනාකමක් එක් කළ යුතු බවයි. ට්‍රම්ප් පරිපාලනයට මෙය පහසුවෙන් නතර කර දැමිය නොහැකි බවත්, අධිකරණය හමුවේ උත්තර බැඳීමට සිදුවනු ඇති බවත් සමහර ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළ ද එයින් යම් සාධනීය දෙයක් සිදු වේ යැ යි සිතීම උගහට ය.

ලොව පුරා නිදහස්වාදය-ගෝලීයකරණ සංකල්ප වහනය කිරීමට ඓන්ද්‍රීයව සහ දෘෂ්ටිවාදීව දායක වූ ඇමෙරිකාව මේ තමන්ගේ ඇතුළට නැමුණු රාජ්‍යයක් බවට පත්වීම ලෝක දේශපාලන සන්දර්භය තුළ විවාදාපන්න වී තිබේ. කැනඩාව ඇතුළු අනෙක් රටවල්ද දැන් දැන් ඒවාට අභිමුඛ තීරණ ගනිමින් සිටිති.

ට්‍රම්ප්ට මේ සෙල්ලම් හරහා කොතරම් දුරක් යා හැකි දැ යි ලෝකයම සිටින්නේ විමසිලිමත්ව ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top